හිතට බෙහෙත්

“කොහොමද මගෙ කසින් අඩල?”

සුනිල් අයියගෙ කොළඹ ජීවත්වෙන අනුලා නංගී අපෙ ගෙදර එනකොට උදේ නවය වෙලත් නෑ. මාමගෙ ලෙඩ ගැන අයියාගෙන් සඳුදා ආරංචිවුනත් සෙනසුරාදා වෙනතුරු මහනුවර එන්න අවස්තාවක් ලැබුනෙ නැති නිසා වෙන්න ඇති පාන්දරම පිටත් වෙන්න ඇත්තේ. අද අපිත් එක්ක ගමේ යන්න බලාගෙනයි නංගී ආවේ.

“අප්පේ… එන්න අනූ අක්කා … අනේ දැක්ක කල්! … අජිත් ඔය මල්ල ගන්නකෝ - යං අක්කා උදේට මොකවත් කමු… මහංසි ඇති හොඳටම!”

කමලා අනුල නංගිගෙ අතින් අල්ලාගෙන ගේ ඇතුලට එක්ක ගියා. නංගිත් මා දිහා හිනාවෙලා ‘මගෙ කසින් බෑව - එහෙනං මගෙ මල්ල ගේනවද?’ කියාගෙන කමලා එක්ක ගේ ඇතුලට ගියා.

මම අබේ මාමයි, නන්ද නැන්දයි, සුනිල් අයියයි ගමේ එක්ක ගියේ බදාදා හවස. පපුවේ අමාරුවක් නිසා සඳුදා ඉස්පිරිතාලෙට ඇතුල්වුන මාමට බදාදා උදේ වෙනකොට සනීපයි - විස්වාස කරන්න බැරි ඉක්මනට. අපිට විතරක් නෙවෙයි මාමගෙ දොස්තරටත් පුදුමයි රෝග ලක්ෂණ නැතිවී ගිය ඉක්මන. මාමා විස්වාසකලේ අපෙ අට්ටික්කා ගහේ දෙයියෝ රෝග සුව කරා කියලයි. ඒකට පක්ෂවවත් අපක්ෂකවවත් යමක් කියන්න මට දැනීමක් නෑ. කමලයි මමයි අනුලා නංගිත් එක්ක සති අංතයේ මාමා බලන්න ගමේ යන්නේ, කොහොම ලෙඩේ සුවවුනත්, දවස් කීපෙකට පස්සේ තත්වය දැකබලාගන්න හිතාගෙනයි.

…………………………

“ඔන්න ලෙඩා වත්ත පැත්තේ ගියා!”

නැන්දා මෙහෙම කිව්වේ හිතුවක්කාර දරුවෙක් ගැන කතාකරනවා වගේ. නමුත් අනුලා නංගිගෙ ඔලුව උඩ තියපු අත පැත්තකට ගත්තෙ නෑ.

“තනියම?”

“නෑ - ඔය ලොකු පුතත් ගියේ… මං කිව්වට අහන එකක් යෑ!”

“අයියත් ගියානම් බය වෙන්න කාරනයක් නෑ නැන්දා… කොහොමද ගෙදර ආවට පස්සේ පපුවේ අමාරු ආයෙත් ආවද?”

“නෑ පුතා. ඒ අතින් කරදරයක්නම් නෑ, දෙයියන්ගෙ පිහිටෙන්!”

ඒ වචනෙට මට හිනා ගියා - ‘අපෙ අප්පුහාමී දෙයියෝ ගැන නැන්දා දන්නවනම්!’ කියලා හිතිලා.

“දෙයියෝ කියනකොට මතක්වුනේ…. ඔන්න අප්පච්චිටයි පුතාටයි දෙන්නටම ඕනළු අට්ටික්කා ගහට මල්පැලක් පූජා කරන්ට. අර එදිරිසිංහ මහත්තයද දන්නෙ නෑ ඔය අදහස දුන්නේ… මතකද පුතා එයා ඔය අට්ටික්කා ගහ ගැන කතාකෙරුවා පුතත් හිටපු දවසක?”

“මාමා ඔහොම කතාවක් කිව්වා තමා එදා නුවරින් ආපු දවසෙත්… හිතට හොඳක් වෙනවනම් කරල දාපුවම මොකද නැන්දා…. “

“ඇත්ත තමා. ඇඟට හිතට හොඳනම් තොවිලක් කරත් මට නම් කාරියක් නෑ - ආයෙත් ලෙඩක් වෙන එක නවතිනවනම්!”

මට නැන්දා ගැන පවු කියලා හිතුනා. මාමට ලෙඩක් නැති කාලෙකනම් නැන්දා ඔය වගේ අන්ධ විශ්වාසයකින් කරන කිසිම දේකට කැමති වෙන්නෙ නෑ. මට මතකයි අපි පොඩි කාලේ ආගම ගැන කියලා දෙනකොට දීපු අවවාද.

“අපෙ ආගමේ ගනුදෙනු කරන්ට වටින දෙවියෝ නෑ - කවුරු මොනවා කිව්වත්. තමංගෙම උත්සාහයෙන් මිස දෙවි බලයකින් ජීවිතේ දුක නැති කරගන්ට බෑ. පුතාලා දුවලා හිතාගන්ට කවදාවත් දෙවියෙකුට කන්නලව් කරලාවත් දෙව්යෙකුට තෑගි බෝග දීලවත් තමාට ඕනදේ ලබාගන්ට බෑ කියලා!”

නැන්දගෙ අවවාද මට අමතක වෙන්නෙ නෑ ලේසියට.

“මං මේ කතා කර කර ඉන්නවා - තව තේ එකක් වත් දෙන්ට හිතුවෙ නෑ… ආං අනුල්ගෙ කාමරේ ලෑස්තියි…ගුනපාල….!”

…………………………

අපි දවල්ට කාලා මේසෙන් නැගිටින්න ඉස්සර මාමා මල්පැලේ කතාව ඉදිරිපත්කරේ මා දිහා බලාගෙනයි.

“අද හවස අර මල්පැලක් පූජා කරන්ට ඉන්නේ - පුතාලත් ඉන්නවානම් මට සන්තෝසයි”

කමලා අපි දෙන්නා වෙනුවෙන් මට ඉස්සර ඒකට උත්තර දුන්නා.

“අනේ මාමා … ගෙදර එනකොට රෑවෙයි කියලා අපි පොඩ්ඩන්ට කියලවත් නෙවෙයි ආවේ. හ්ම්… කීයට විතර පූජාව ඉවර වෙයිද?”

“මං නම් හිතුවේ රෑ නැවතිලාම ගියොත් හොඳයි කියලා… ඒ කියන්නේ පූජාව නිසා පරක්කු නොවුනත් ඇයි ඉතින් පොඩ්ඩක් නිදාගෙන ඉඳලා හිමින් හිමින් හෙට උදේ පිටත් වෙන්නෙ නැත්තේ? පොඩ්ඩන්ට ටෙලිෆෝන් කරොත් මදිද?”

අනුලත් කතාවට හවුල්වුනා.

“ඔවු අක්කා, ඉඳලා යන්නකෝ! මගෙ කසින් බෑව නැතුව උනත්!”

නැන්දත් කතාවට එකතුවුනා.

“… හෙට ඉස්කෝලේ එහෙමත් නැති එකේ නැවතිලා යන්ටකෝ දුව… මෙහෙ අප්පච්චියි පුතයි විතරයි - මට ගෑනු කෙනෙකුට කතා කරන්ටවත් හම්බවෙන්නේ කලාතුරකින්!”

නැන්දට කුස්සි අම්මා අමතකයි. සාමාන්යෙන් අපිට කිසි දේකට බල නොකරන නැන්දා මෙහෙම් කියන්නේ ඇත්තටම කමලත් එක්ක මොනවාහරි කතා කරගන්න ඕන නිසා කියලා මට හිතුනා. කවුරුත් මොනවත් කියන්න ඉස්සර මම මගෙ අදහස ඉස්සරහට දැම්මේ මටත් මාමත් එක්ක කතා කරගන්න කාරනා තිබුන නිසයි.

“කමලා ඇයි අර සීලවතීට අද රෑ අපෙ ගෙදර නවතින්න කියන්නෙ නැත්තේ? මම නිලංතට කියන්නම් හය වෙනකොට ගෙදර ඉන්න ඕන කියලා.”

අයියා මේක ස්ථිර කරා.

“ඒක හොඳයි. නිලංත වගකීමක් බාරගත්තොත් ආයෙ කිසි සැකයක් නෑ - වැඩේ කෙරෙයි! දැක්ක නේද අප්පච්චී ඉස්පිරිතාලේ ඉන්නකොට දුවල පැනලා වැඩ කරපු හැටි”

ඒ විවාදේ එතනින් ඉවරවුනා. මාමයි නැන්දයි ටිකක් ඇලවෙන්න නිදන කාමරේට ගියා. කමලයි මමයි ටෙලිෆෝන් මාර්ගෙන් අපෙ ගෙදර හවසට වියයුතු දේ පිලියෙල කලාට පස්සේ කමලයි අනූ නංගියි පොත් දෙකක් අරගෙන අනුලගෙ කාමරේට ගියේ “කල දුටු කල වළ ඉහ ගන්නවා!” කියාගෙනයි. අයියයි මමයි පොඩිකාලේ පුරුද්දටය වත්ත පැත්තේ ගියා - ඒ දවස්වල මාමලා දවල්ට නිදාගන්නේ පොඩ්ඩෝ වත්ත පැත්තේ සෙල්ලම් කරන්න යවලයි. නිශ්ෂබ්දව සෙල්ලම් කරන්න අපිට කොහොමටත් බැරි බව අපිටම තේරුනා. පොඩි කාලේ වගේ නෙවෙයි, අද තව කතාකරගන්න දේත් තිබුනා.

“අයියා මල්පැලට ඕන දේ සේරම හරිද?”

“ඔවු… ටික්කට කියලා ඒ සේරම ගෙන්න ගත්තා… මල් ටිකක් විතරක් හවස කඩා ගන්නවා”

“කීයට විතරද පූජාව තියන්න අදහස? මම ඔය වැඩේ කරපු දවසේ - මට ඉස්සරවෙලාම අප්පුහාමී හම්බවුන සැරේ - මම මල්පැල පූජාකරේ මහ දවල්!”

“මං හිතුවේ ටිකක් කරුවල වෙලා කරමු කියලා… සමහරවිට අප්පුහාමිත් දැක්කොත් තැන්ක්යූ කියන්න පුළුවන්”

“අපි තුන්දෙනා විතරයි?”

“ඔවු මලයා…කමලා එන්න ඕන කිව්වොත් මලයට පුළුවන් නේද නවත්තගන්න? අම්මා නම් කොහොමටත් එන්නෙ නෑ - දන්නවානේ අම්මා ඔය එක එක දෙයියෝ වඳින කෙනෙක් නෙවෙයි කියලා!”

අපි දෙන්නා ගේ ලඟ ඇලේ ගල් උඩ වාඩිවෙලා හිටියේ. අයියගෙ යටි හිතේ මොනවදෝ තියෙනවා කියලා මට දැනුනා. නමුත් අයියම කියනකම් මම සද්ද නැතුව හිටියා. අයියා යමක් කියන්න විනාඩි කීපයක්ම ගියා. අන්තිමට කතා කරේ මා දිහා නොබලා, ඈත දෙල් ගහේ තියෙන මොකද්දෝ මහා වැදගත් දෙයක් සම්ප්රේක්ෂණය කරන්නෙක් වගේ ඒ දිහාට ඇස් යොමු කරගෙනයි.

“… මලයා මොකද කියන්නේ අප්පුහාමී අප්පච්චිගෙ ලෙඩ හොඳකරා කියන එක ගැන?...”

මමත් මේක ගැන අයියත් එක්ක කතාකරන්න බලාපොරොත්තුවෙන් හිටිය නිසා උත්තර දෙන්න වැඩි වෙලාවක් ගත්තෙ නෑ.

“මාත් ඕක ගැන සෑහෙන්න හිතුවා අයියා… එක පැත්තකින් බලනකොට මාමට ඉක්මනටම ලෙඩ හොඳවුනා … හොඳ දොස්තරලටවත් බෑ මේක වුනේ කොහොමද කියන්න… ටෙස්ට් ඔක්කම කියන්නේ ලෙඩ හොඳයි කියලා … ආයෙ… නැන්දගෙ හීනේ… මේවා සේරම අපිට පැහැදිලි විදිහට තේරුම් කරන්න බැරි දේ. අනික් අතට, මේවා දේව බලෙන් සිද්දවුනා කියන්නේ අපි දන්න විද්යාව බොරුකරලා - ඒකත් මට අල්ලන්නෙ නෑ!”

“මටත් එහෙමයි මලයා - ඉස්කෝලේ යන කාලේ ඉඳන් ඉගෙනගත්ත හුඟාක් දේ බොරුයි කියන්න මමත් කැමති නෑ. අපි ඉගෙනගත්තේ, රස්සා කෙරුවේ ලෝකේ තියෙන බලවේග ගැන බම්බුවක්වත් නොදැනද? අපි අපෙ ළමයිට කොච්චර බොරු කියන්න ඇතිද? ඊටත් වැඩිය හිතට අමාරුයි අර ඇන්ඩිසිංඤෝ අපිට වඩා යමක් දන්නවා කියන එක! ඒක හරිම අන්තිමයි!”

අයිය හයියෙන් හිනාවුනා. නමුත් ඒ හිනාවේ තිබුනේ විනෝදෙට වැඩිය දුක්මුසු හඬක්.

“නෑ… නෑ… අයියා. මං හිතන්නේ අපිට යන්තම් හරි තේරුම් ගන්න පුළුවන් හේතුවක් ඇති ඔය සිද්දවුන දේ වලට…. මාමත් එක්ක කතා කරාද මෙව්වා ගැන?”

“නෑ නෑ … මං හිතුවේ අපි දෙන්නා ඉස්සරවෙලා කතා කරගත්තොත් හොඳයි කියලා”

“හ්ම්… අපිට පුළුවන් අප්පුහාමිගෙන් අහන්න, හැබැයි මාමට කතා නොකර ඒක කරන එක හරි නෑ මං හිතන්නේ”

“අපි අට්ටික්කා ගහ පැත්තේ යනගමන් ඒක අප්පච්චිට කිව්වොත් ඇතිද?”

“ඊට වැඩිය වෙලා ඕනවෙයි අයියා… ම්…මං බලන්නද නැන්දයි අනුලයි කමලත් එක්ක පංසල් යවන්න? මං කමලට කිව්වොත් මාමත් එක්ක යමක් කතාකරගන්න තියෙනවා කියලා, නැන්දා නැති වෙලාවේ, කැමති කරගන්න පුළුවන් වෙයි වැඩේ සෙට් කරන්න. කමලා කියයි ‘හරි ආසයි පංසලට ගිහින් එන්න’ කියලා. අනික, නැන්දා කැමති නෑනේ එක එක දෙයියන්ට පූජා දෙනවට. ඒකට විරුද්ද බව පෙන්නන්නත් එක්ක පංසල් යයි! අනුලා නංගිත් ගමේ ඇවිත් නෑනේ කාලෙකින් - පංසල් නොගිහින් කොහොමද?”

“ඔය ලඟදී ඉගෙනගත්ත කට්ටකම් ද නැත්තන් උඹ ඉස්සරත් ඔහොමද?”

අපි හිනාවෙවී ගෙදර එනකොට අනික් අය සාලේ වාඩිවෙල, තේ හැදෙනකම් ඉන්නවා.

………………………………..

“මොකද දන්නෙ නෑ අම්මා පංසල් යන්ට ඕන කිව්වේ… පොඩි එකීත්, කමලත් ඇදගෙන… අද මං දන්න විදිහට විශේෂ මොනවත් නෑ එහෙ.”

“නෑ අප්පච්චී. මලයා තමයි ඒක ඕගනයිස් කරේ අපි තුන්දෙනාට පොඩ්ඩක් කතා කරන්න නිවිහැනිහිල්ලේ… මල්පැල පූජාව ගැන එහෙම… මල්ලී?”

“මේකයි වැඩේ මාමා. අද දවල්ට කාලා මාමලා නිදන්න ගිය වෙලාවේ, අයියයි මමයි මාමගෙ ලෙඩෙයි, ඒක සනීපවුනහැටියි ගැන හිතලා බැලුවා. අපි දෙන්නටම තේරෙන්නෙ නෑ කොහොමද ලෙඩේ හොඳවුනේ කියලා - අපිට විතරක් නෙවෙයි දොස්තර පරම්ටත් එහෙමයි. මිනිහා ඔලුව කහ කහ මට කිව්වේ ‘මටම විශ්වාස කරන්න බෑ!’ කියලා. අපි දෙන්නා හිතුවා අප්පුහාමිගෙන් අහන්න අද පූජාවට පස්සේ නමුත් මාමත් එක්ක කතා නොකර ඒක කරන එක හරි නෑ කියලා අපිට හිතුනේ…”

“ඔව් අප්පච්චී. අපිට කියනවද ඇත්තටම මොකද වුනේ කියලා?”

මාමා කල්පනාවේ වැටුනා - මිදුලේ පොල් ගහක් දිහා බලාගෙන, නිශ්ෂබ්දව. අයියයටයි මටයි හිතුනේ මාමා අදහස් පිලිවෙලට සකස් කරනවා කියලා, අපිත් එක්ක බෙදා හදා ගන්න ඉස්සර.

“මොකද්ද හරියටම දැනගන්ට ඕනෑ?”

“සඳුදා තුනේ ස්කෑන් එකෙන් පස්සේ, අඟහරුවාදා උදේ ඇහැරෙන වෙලාව… කියමු නමයයි කියලා… ඒ වෙනකම් සිද්දවුන සේරම දේ… කෑම, බීම, බෙහෙත්, ටෙස්ට්… සේරම!”

“හ්ම්… ලොක්කා ගියාට පස්සේ නිලංත පුටුව ඇදගෙන ඇඳ ලඟ වාඩිවුනා මතකයි… අපි මොනවා ගැන කතාකරාද මතක නෑ… දන්නව නේ මම හිටියේ හොඳ සිහියෙන් නෙවෙයි… පපුවේ වේදනාවක් නොතිබුනාට ඇඟට මහංසිය වගේ… අර කියන්නේ ඇඟ තලලා දැම්මා වගේ කියලා… අන්න එහෙමයි දැනුනේ. උඹලට මතකද ගෙදර පිරිතක් තිබිලා මුළු රෑම ඇහැරලා හිටියම පහුවදා දවල් කෑමෙන් පස්සේ එන මහංසිය? කතාකරකර ඉන්නකොටත් කිරා වැටෙනවා. අන්න ඒ වගේ. නින්දෙත් නෙවෙයි ඇහැරිලත් නෙවෙයි… මං මේ කියන්නේ - මම දැක්කා, මට ඇහුනා කියනදේ ඇත්තද බොරුද කියන්ට මට බෑ…”

මාමා ආයෙත් විනාඩියකට නිශ්ෂබ්දවුනා.

“කීයට කීයට ලේ ගත්තද, බෙහෙත් දුන්නද මට හරියට කියන්ට බෑ. හැබැයි ඒවා ලියවිලා ඇතිනේ වාට්ටුවේ?... මට ආරංචියි මට දෙකට විතර ලැබුන බෙහෙත සටහන්වෙලා නැ කියලා. ඔහොම දේ ඉස්පිරිතාලවල වෙනවා ඇති අනංත වාරයක්. මට ඒ බෙහෙතේ නම් රසත් මතකයි… දීපු දොස්තරයා මං දැකලා තියෙනවා වගේ - නමුත් හරියට නිච්චි නෑ කවුද කියලා… ආයෙ උදේ බෙහෙතක් මොකවත් දුන්නේ නෑ. හැබැයි පාන්දර හොඳට නින්ද ගියා. මගෙ ඇඟට අමාරුවක් නැත්තේ ඒ නිසා කියලා මං හිතුවේ… කිසි අමාරුවක් නැතුවත් තව හවසක් ඉන්ට වුනා - ආයෙ ටෙස්ටුයි ස්කෑනුයි… බලනකොට ඉහෙන් බහින රෝගයක් නෑ!”

මාමා කතාව නැවැත්තුවේ මුහුන හිනාවකින් සරසාගෙනයි.

“මාමට නැන්දා කිව්වද එදා රෑ දැකපු හීනේ ගැන?”

“ඒ මොකද්ද?”

මම දන්න තරමෙන් නැන්දගෙ හීනේ මාමට විස්තර කරලා දුන්නා. වෙන එකක් තියා දොස්තරගෙ බෙල්ල මිරිකන්න ලෑස්ති ‘වලහෙක් වගේ’ මිනිහා ගැනත් කිව්වා.

“හීන ගැන මං දන්නෙ නෑ - ඒ හිතේ සාංකාවට පෙනෙන දේ නේද? හැබැයි මටත් දැනෙනවා වෙලාවේ සමතාව - හැබැයි ඒකේ වැදගත්කම මට තේරෙන්නෙ නෑ… කාටවත් තේරෙන්නෙ නැතුව ඇති…. හ්ම්…. ”

“අප්පච්චී ඔය හිතෙන්නේ අප්පුහාමීටවත් තේරෙනවද කියලා නේද?”

“හ්ම්… අනේ මං දන්නෙ නෑ… උඹලා මොකද කියන්නේ?”

“අහලා බලමු නේද මාමා? … තව එකක් මට අහන්න ඕන මාමගෙන් - මාම කැමතිනම් අප්පුහාමිගෙනුත්. මේක හිතුනේ අර නිලංතලා මෙහෙ ඇවිත් ගිය දවස්වල… අපි, යම් දවසක… කවදා හරි … අප්පුහාමී ගැන වෙන කාටවත් කියනවද? මේක මගෙ හිතට කාලයක් වද දෙනවා”

මාමයි අයියයි ටිකක් හිතුවා. අංතිමට අයියා ප්රශ්නෙට උත්තර දුන්නා.

“මලයා … අපි ඒක අනාගතේට කල් දැම්මොත් හොඳයි මං හිතන්නේ. ඒ කියන්නේ, ඉස්සරවෙලා ලෙඩ සුව කිරීම් ගැන අහගමු. සමහරවිට ඒකේ උත්තර අනුව අපි අප්පුහාමී ගැන හිතන විදිහ වෙනස් වෙයි. අප්පුහාමී ඇත්තටම ලෙඩ හොඳ කරනවානම් …. හිතන්නත් අමාරුයි අපි මොකක් කරන්න ඕනද කියලා... ලෝකේ සේරටම උදව් කරයිද? අප්පච්චිට විතරද? අපෙ පවුලේ අයට විතරද? මේවා ලොකු වැඩී එක සැරේම ගිලින්න… මට හිතෙන්නේ එහෙමයි…”

“ලොක්කගෙ කතාව හරියටම හරි. දැලේ ඉන්නේ සූඩයෙක්ද මෝරෙක්ද නොදැන…?”

මටත් කතාවේ වටිනාකම තේරුනා.

“අපි පූජාව කරලා ඉවරවෙලා පොරට කතාකරලා බලමු මාමගෙ වෙදකම් ගැන. අනික් ඒවා පස්සේ වෙලාවක බලමු”

…………………………..

හොඳටම අඳුර වැටිලා නැති නිසා කමලයි නැන්දයි තවම ගෙදර ඇවිත් නැතුව ඇති කියලා මට හිතුනා. ඇවිත් හිටියත් අපි අපෙ පූජාව ඉවර වෙලා මිස ගෙදර නොඑන බව ඒ අය දන්නවා. ඒ නිසා අපි මල්පැල පූජා කරලා ඉවරවෙලා බෝක්කුව උඩ වාඩිවුනේ අප්පුහාමී එන තුරුම එතන ඉන්න බලාපොරොත්තුවෙන්.

“ලොකුමහත්තයා පූජාවක් කරලා වගේ”

අප්පුහාමිගෙ කටහඬ ඇහුනේ පාරේ අනික් පැත්තේ බෝක්කු බැම්මෙන්. මෙතෙක්වෙලා හිස්ව තිබුන තැන දැන් අප්පුහාමී වාඩිවෙලා ඉන්නවා.

“අපිට ප්රශ්න කීපයක් තියෙනවා ඔබතුමාගෙන් අහන්ට…”

මාමා සුහද ආමන්ත්රන නැතුව කතාව පටන්ගත්තත් කටහඬේ තිබුනේ සිසුවෙක් ගුරුතුමෙකුගෙන් යමක් අසන ස්වභාවයකුයි. අයියයි මමයි මුහුනෙන් මුහුන බැලුවේ මෙය මාමගෙ සාමාන්ය කථා ලීලාව නොවන නිසයි. අප්පුහාමී මායි අයියයි දිහා බලලා “ගුරුවරුත් සමහරවිට සිසුවෝ වෙනවා” කිව්වමයි අපිට මතක්වුනේ අප්පුහාමිට අපි හිතනදේ ඇහෙනවා කියලා.

“මොනවද මහත්තයාලට දැනගන්න ඕනෑ?”

මට ඒ වෙලාවෙයි හිතුනේ අපිට අහන්න ඕන ප්රශ්න පැහැදිලිව සලසාගෙන තිබුනානම් කොයි තරම් ලේසි වෙයිද වැඩේ කියලා. නමුත් මාමට එහෙම අවුලක් නෑ.

“ඔබතුමා මම ඉස්පිරිතාලේ හිටිය බව දන්නවද?”

“ඔවු”

“මට තිබුන ලෙඩේ දන්නවද?”

“ඔවු”

“ඒක සුවකරන්ට දන්නවද?”

“ඔව්”

මාමා ටිකක් ගැස්සිලා හිටියට කටහඬ වෙනස්වුනේ නෑ.

“ඒක අපිට කියන්ට පුළුවන්ද?”

“ඔව්”

“එහෙනන් කෙටියෙන් කියන්ට දැන් අපිට අහගන්ට!”

“ලොකුමහත්තයා ලේසි ප්රශ්න ඉස්සරවෙලා අහන්නේ අමාරු ඒවා පස්සේ අහන්න වෙන්න ඇති… කමක් නෑ. ඔය පපුවේ අමාරු නැතිකරගන්න ක්රම කීපයක් මම දන්නවා. ඒවගෙන් හොඳම එක… ජීවිත කාලෙම කෑම බීම ගැන ප්රවේසම් වීම, ක්රමවත් ලෙස ව්යායමය, මනස පිරිසිදුව තබා ගැනීම - මේ තුන පිලිපැද්දොත් ආයෙ බයවෙන්න හේතුවක් නෑ!”

“ඔබතුමා දන්නවා මම ඇහුවේ ඒක නෙවෙයි කියලා… පපුවේ අමාරුවක් හැදුන කෙනෙක් ඒකෙන් ඉක්මනින් සුවපත් කරන ක්රම තියෙනවද?”

“ඒකට උත්තරයක් ඕනෑ නැති බව මහත්තයා දන්නවා - මහත්තයා මෙත ඉන්න එකෙන් ඒක ඔප්පු වෙනවා”

අයියට මේ වට රවුමේ යන කතා අල්ලන්නෙ නෑ.

“අප්පුහාමී අප්පච්චිට සඳුදා රෑ දෙක හමාරට විතර, ඉස්පිරිතාලෙදි, බොන්න බෙහෙත් දුන්නද?”

“නෑ”

“ම්…ම්…. එහෙනං වෙන කෙනෙක් ලව්වා බෙහෙත් ලැබෙන්න කටයුතු කරාද?”

“හ්ම්…. ඒක ගැනනම් ටිකක් හිතලා බලන්න ඕනෑ… නෑ … නෑ… සුනිල් මහත්තයා හිතන විදිහට නෙවෙයි … මට හිතල බලන්න ඕන ‘වෙන කෙනෙක්’ කියන කෑල්ල ගැන විතරයි. සුනිල් මහත්තයා ‘වෙන කෙනෙක්’ කිව්වම මම විතරක් මග හැරලද, නැත්තම් පවුලේ සේරම මග හැරලා ඉතුරුවෙන කට්ටියද ‘අනික් කෙනෙක්’ කියන්නේ?”

සුනිල් අයියටත් මේක ගැන හිතන්න ඕන වගේ. අංතිමට අයියා දෙපැත්තම බලන්න පුළුවන් උත්තරයක් දුන්න.

“මල්ලියි මමයි නිලංතයි කිසිදෙයක් නොකල නිසා පවුලේ අය අතහැරලා ගත්තොත්?”

“එහෙනම් මගෙ උත්තරේ ‘නෑ’. ඒ කියන්නේ මහත්තයගෙ පවුලේ අයයි මමයි ඇරුනුකොට කිසි කෙනෙක් බෙහෙතක් දෙන්න පාවිච්චිකලේ නෑ!

“මල්ලියි මමයි නිලංතයි එහෙම කරාද, ඒ කියන්නේ?”

“නෑ!”

ආයෙත් මාමා කතාව බාරගත්තා.

“ඔබතුමත් නෙවෙයි නම්, ලොක්කත්, අජිත් පුතත්, නිලංත දරුවත් නෙවෙයි නම්… මගෙ පවුල…?”

මාමා මේක අමාරුවෙන් කටින් එලියට දැම්මේ. අයියයි මායි කට ඇරගෙන බලාගෙන ඉන්නවා දැකලා අප්පුහාමී හිනාවුනා.

“ලොකුමහත්තයා අපෙ මැනිකේ ගැන ඔහොම හිතනවටත් මං කැමති නෑ. මහත්තයා දන්නෙ නෑ මැනිකේ කොච්චර හිතේ අමාරුවෙන්ද හිටියේ කියලා”

මාමා අයියයිමායි දිහා බලලා “සොරි” කියලා කිව්වේ කඳුළු පිරුන ඇස්දෙක පිසදාමින්. නමුත් මාමගෙ මොලේ හොඳට වැඩකරනවා.

“ඔබතුමා කොහොමද දන්නේ මැනිකේ දුකෙන් හිටියා කියලා? හ්ම්?”

අප්පුහාමිගෙ බරපතළ මුහුනක් පෙන්වුවා.

“මැනිකෙගෙ දුක ගමේ ගෙදරින් ඉස්පිරිතාලෙටත් එතනින් මේ මහත්තයාලගෙ ගෙදරටත් ඇඳිලා තිබුනේ බඹ ගානක් පලල ලා රෝසපාට මීදුමක් වගේ. අපිට ඒ වගේ දෘෂ්ටි හොඳින් පෙනෙනවා - ඒ හරහා මනුස්සයෝ සොයාගන්න එක අමාරු නෑ”

“ඉන්න තැන සොයාගෙන හීන පෙන්නන්නත් පුළුවන්ද?”

“ආන්න මහත්තයට තේරෙනවා… හීනෙට නම් මම වැරදිකාරයා කියලා පිලිගන්නවා… හැබැයි ඒ බොරු බලාපොරොත්තුවක් නෙවෙයි දුන්නේ… මහත්තයට ඇත්තටම හොඳවෙන්න පටන්ගෙන, ඒ වෙනකොට!”

අපි තුන්දෙනා මුහුනෙන් මුහුන බැලුවා. පලවෙනිසැරේට මම කතා කරා.

“ආයෙත් හිටපු තැනටම එනවා මේ විවාදේ… කෙලින්ම ඇහුවොත් … කවුද මාමට බෙහෙත් දුන්නේ? තේරවිලි එපා - උත්තරයක් ඕන!”

“ඕක ඉස්සරවෙලාම ඇහුවනම් ඉවරයි නේ! බෙහෙත දුන්නෙත්, ගත්තෙත් අපෙ ලොකුමහත්තයාමයි!”

මාමට හිනා ගියා.

“මං දීපු ඇති බෙහෙතක් නෑ! බෙහෙත් දෙන්නා තියා කවුරුත් දීපු එක බිව්වෙත් අමාරුවෙන්! අනික, මං වෙදකම් කරේ ඉගෙනගන්ට බැරි ළමයින්ට; උන් ලෙඩ්ඩු නෙවෙයි”

“ලොකුමහත්තයා දන්නවා සරීරෙට දෙන පෙති, කුඩු, කරල්, දියර වලට වඩා බලසම්පන්නයි මොලේට දෙන බෙහෙත් කියලා… “

මාමගෙ හිනාව දියවෙලා ගියා - පොඩි තිගැස්සීමක් පෙන්නුවා, ඒ වෙනුවට.

“ඔබතුමාමගෙ මොලේට යමක් කරා කියලද ඔය කියන්නේ?”

“මම කරේ අදහසක් මොලේට ඇතුල් කරන එක විතරයි. ලොකුමහත්තයගෙ ඇඟපත වයසේ හැටියට තවමත් ශක්තිමත්… හිතත් සෑහෙන්න දියුනුයි, පිරිසිදුයි. එහෙම කෙනෙකුට පොඩි පහේ කෙලින්ම බෞතික ලෙඩදුක් ලේසියෙන් මැඩපවත්වන්න පුළුවන් - ක්රමය දන්නවනම්. මම කරේ මොලේට යම් අදහසක් ඉදිරිපත්කරන එක විතරයි - අනික් සේරම කරේ ලොකුමහත්තයාමයි”

අපි සද්ද නැතුව, වෙන වෙනම, මේ අළුත් හෝඩුවාව තේරුම් ගන්න බැලුවා.

“එතකොට නර්ස් නෝනා? එයත් දැක්කළුනේ මට බෙහෙත් දීපු එකා!”

“වැඩිහිටි මහත්තයගෙ උගත් මොලේට අදහස් ඇතුල් කරන්න පුළුවන් කෙනෙකුට ලාබාල හෙදියකට අදහස් දෙන එක අමාරු නෑ!”

අප්පුහාමිට මේක සාමාන්ය දෙයක් වගේ පෙනුනත් මනුස්ස අපි තුන්දෙනාට මේක වටහාගන්න සෑහෙන කාලයක් ගියා. අපි ඉටි රූප වගේ විනාඩි කීපයක් කිසිම ස්ද්දයක් නැතුව හිටියා. අන්තිමට ඒ නිශබ්දතාවය බිඳ දැම්මේ අබේ මාමයි.

“මගෙ මොලේට ඔහොම දේ කරන්ට පුළුවන් බව මීට ඉස්සර දැනගෙන හිටියනම්…අඩේ අප්පා …. නොදකින් විතරක්! අප්පුහාමී… දෙයියෝ … ඔබතුමා… තොට තිබුනෙ නැද්ද මට අගමැතිවෙන්න අදහසක් හිතට දාන්න?”